අපගේ දැක්ම
විශිෂ්ට සේවා සත්කාරයක් තුළින් අසමසම සේවයක් සැපයීමඅපගේ මෙහෙවර
සේවාලාභී අවශ්‍යතා ප්‍රශස්ත ලෙස ඉටු කිරීමට මානව හා භෞතික සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව මෙහෙයවීමහැඳින්වීම
නාඋල ඓතිහාසික පසුබිම
නාඋල ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම පිළිබඳ සැළකිලිමත් වීමේදී එය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයයි. නාඋල කොට්ඨාසය නාග ගෝත්‍රයට අයත් ජනතාවගේ වාස භූමියක් බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ. නාඋල නම ගොඩනැගීම පිළිබඳව විවිධ ජනශ්‍රැති පවතින අතර, නාග ගෝත්‍රිකයන්ගේ වාසභූමිය වීම නිසා හෝ නාගයකුගේ හැඩයට ගලන උල්පතක් ඇති බැවින් නාඋල නම් වූ බවටද නා ගස් සමූහයක් පැවතීම නිසා එම අරුතින් නාඋල වූ බවටද පවතින මතයන් මේ අතරින් වඩාත් ප්‍රචලිතය.
පල්ලව සම්ප්‍රදායට අයත් ලක්දිව ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ වැදගත් සාධකයක් වන ක්‍රි.ව. 7 වන සියවසේ සිට ක්‍රි.ව. 9 වන සියවස දක්වා විකාශනය වූ නාලන්දා ගෙඩිගෙය පිහිටා ඇත්තේ මෙම ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසය තුළයි. ඓතිහාසික කොත්මලා - තමන්කඩුව මාර්ගය වැටී ඇත්තේද නාඋල කොට්ඨාසයට අයත් අඹන ගම් පියස හරහායි. ඓතිහාසික අඹන හැඳින්වෙන්නේ “අඹවනයණී” නමිනි. මෙම අඹ වනය මැදින් ගලන ගඟ පසු කලකදී අඹන් ගඟ වූ බවට සඳහන් වේ.
මෙම කොට්ඨාසයේ නාලන්ද දීයන්කඩුව මාර්ගයේ “රාජගුරු පරම්පරාව ” දුටුගැමුණු රජුට නාගයකු දෂ්ඨ කළ අවස්ථාවේදී එතුමාට ප්‍රතිකාර කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.
I වන පරාක්‍රමබාහු කුමරා එවකට පොළොන්නරුව රාජ්‍ය කළ ගජබා රජුට එරෙහිව කළ සංග්‍රාමය ලංකා ඉතිහාසයේ දරුණු යුද්ධ අතරින් එකකි. එම යුද්ධයේදී පරාක්‍රමබභාහු කුමාරයාගේ ප්‍රධානතම සටන් මධ්‍යස්ථානය හා කඳවුර වූයේ නාලන්දාව ප්‍රධාන අඹන, ඇලගමුව හා තලාගොඩ කඳවුරුය. මේ සංග්‍රාමයෙන් අනතුරුව I වන පරාක්‍රමබාහු රජතුමා ශ්‍රි ලංකාව එක් සේසත් කළ අතර එහිදී නාඋල ප්‍රදේශයේ ජනතාව එම ජයග්‍රහණය සඳහා අතිමහත් කාර්යභාරයකට උරදී ඇත.
එමෙන්ම 1848 මාතලේ නිදහස් අරගලයේදී එම නායකයින් ආරක්ෂිත භූමියක් ලෙසට නාඋල පරිහරණය කළ බව සඳහන් වේ.මේ කරුණු අනුව නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඓතිහාසික පසුබිමකින් යුක්ත ප්‍රදේශයක් බවට හඳුනා ගෙන ඇත.
ආයතනයේ විකාශනය
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරිපාලන රටාව
මාතලේ නගරයට ආසන්නව පිහිටි ප්‍රදේශයක් නිසා නාඋල අයත් වූයේ කන්ද උඩරට රාජධානියටය. 1815 බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ අතර 1819දී මහනුවර කච්චේරියෙන් පාලනය වන උප දිස්ත්‍රික්කයක් වශයෙන් වෙන් වීමේදී නාඋල මාතලේ දිස්ත්‍රික්කයට අයිති විය. 1955 දක්වාම මහනුවර දිසාපති යටතේ මාතලේ උප දිසාපතිවරයකු විසින් පාලනය කළ බැවින් නාඋලද එම පාලනයට නතුව ඇත. 1955 වර්ෂයේදී මාතලේ වෙනම දිස්ත්‍රික්කයක් බවට පත්වූ අතර එතැන් සිට වෙනම දිසාපතිවරයකු යටතට මාතලේ දිස්ත්‍රික්කය අයත් විය.
දිස්ත්‍රීක්කය වෙන් වූ පසු මාතලේ ප්‍රධාන මුලාදෑණි (ප්‍රාදේශීය අදායම් නිලධාරි) කොට්ඨාස තුනකට වෙන් කර ඇත. මාතලේ උතුර, දකුණ හා නැගෙනහිර වශයෙනි. උතුරු කොටසට නාඋල අයත් විය. 1963 වනවිට කොට්ඨාස දහයකින් සමන්විත වූ මාතලේ දිස්ත්‍රික්කය නාඋල සඳහාද වෙනම කොට්ඨාසයක් ඇති විය. 1972 වර්ෂයේදි නිල නාමය ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාසය වශයෙන් පරිවර්ථනය වීමේදී නාඋලින් කොටසක් පල්ලේපොල කොට්ඨාසයට අයත් විය.
ග්‍රාම සේවා නිලධාරි ක්‍රමය ආරම්භ වූයේ 1963.05.01 දින සිටය. එතෙක් පැවති ගම්මුළෑදෑණි ක්‍රමය ඉන්පසු අහෝසි විය. 1982 වනවිට ග්‍රාම නිලධාරි වසම් 52 කින් යුත් ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයක් බවට නාඋල පරිවර්තනය විය.
සීග්‍ර ලෙස වර්ධනය වන රාජ්‍ය කටයුතු පහළම පරිපාලන ඒකකය දක්වා විමධ්‍යගත වීම නිසා දිසාපතිවරයාට දිස්ත්‍රික්කයේ සියලුම කටයුතු කිරීමට අසීරු විය. එම නිසා එම කටයුතු කිරීමට පූර්ණ බලතල ඇති ප්‍රාදේශීය මහ ලේකම්වරයකු පත් විය. ප්‍රාදේශීය උප දිසාපති ලෙස කලින් හැඳින්වූයේ මෙම නිලධාරියාමය.
1963 වර්ෂයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපත ලෙස සැලකිය හැකිය. 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මාතලේ ආසනයේ කොටසක්ව පැවති නාඋල 1990 සිට මේ දක්වාම ලග්ගල බල ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාස 04 අතරින් වැඩිම ජනගහනය වෙසෙන හා වැඩිම ග්‍රාම නිලධාරි වසම් ප්‍රමාණයක් ඇති කොට්ඨාසය ද වේ.
කෘෂිකාර්මික ආර්ථික රටාවකින් හා බෞද්ධ ආගමික පරිසරයක් මූල්කරගත් ජනතාවක් වෙසෙන නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධානතම නගරය වන්නේද නාඋල නගරය වේ. මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයද, මෙම නගරය මැදින් වැටී ඇති අතර පුරාණයේදී රජරටත් මධ්‍යම කඳුකරයත් සම්බන්ධ කළ ප්‍රධානම මාර්ගයද වේ. තවද ඇලහැර හා ගිරිතලේ ඔස්සේ පොලොන්නරු ප්‍රදේශයත් මාතලේ දිසාවේ නැගෙනහිර අර්ධය වන ලග්ගල උඩසියපත්තුවත් එකිනෙක යා කෙරෙන මාර්ග හමුවන මං සන්ධියද නාඋල වේ.
සුදු ගඟ සහ නකල්ස් කඳු වැටියෙන් ආරම්භ වන අඹන් ගඟ ප්‍රධාන කොට ගත් ජල වහන පද්ධතියක්ද, ප්‍රදේශය පුරා විහිදී ගිය නාලන්දා ඔය හා කළු ගල්ලෑඔය යන අතු ගංගාවලින්ද, මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සමන්විතය. බෝවතැන්න ජලාශය ප්‍රධාන කොට ගත් වැව් 15ක් සහ ලොකු කුඩා අමුණු 40ක් පමණ නාඋල කොට්ඨාසයේ පිහිටා ඇති අතර අලුතින් ඉදිකළ මීවැල්පිටිය හා වෑමැඩිල්ල වැව්ද ඒ අතර වේ. දැනට ඉදිකරමින් පවතින මොරගහකන්ද ජලාශය, නාඋල කොට්ඨාසයට අයත් සම්පූර්ණයෙන් යටවන ග්‍රාම නිලධාරි වසම් 6කින් හා අර්ධ වශයෙන් යටවන ග්‍රාම නිලධාරි වසම් 6කින්ද සමන්විත වේ. එසේම මොරගහකන්ද ජලාශය නිසා කොට්ඨාසයේ පවුල් 1,600ක් පමණ ප්‍රදේශයෙන් ඉවත් විය. මේ වනවිට නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 46 කින් සහ ඒවාට අයත් ගම්මාන 118කින් සමන්විත වේ.

නාඋල පරිපාලනයේ නියමුවන්
| අ/අං | නම | තනතුර | සිට | දක්වා |
| 01 | එල්.බී.හුරුල්ලේ මහතා | ප්‍රාදේශීය ආදායම් පාලක | 1950 1967 | |
| 02 | ඒකනායක මහතා | -එම- | ||
| 03 | කේ. ඒකනායක මහතා | -එම- | ||
| 04 | ඒකනායක මහතා | -එම- | ||
| 05 | මැදිවක මහතා | -එම- | 1967 1977 | |
| 06 | ගුණතිලක මහතා | -එම- | ||
| 07 | රම්බණ්ඩා රණතුංග මහතා | -එම- | ||
| 08 | ගජනායක මහතා | -එම- | ||
| 09 | එච්.ආර්.විජේසිරි මහතා | සහකාර ආණ්ඩුවේ ඒජන්ත | 1977 | 1981 |
| 10 | ජේ.ජී.බි.දිසානායක මහතා | -එම- | 1982 ජනවාරි | 1982 දෙසැම්බර් |
| 11 | ඩබ්.බි.ගනේගල මහතා | -එම- | 1983 | 1985 |
| 12 | ඩබ්.බී.ඒකනායක මහතා | -එම- | 1986 | 1989 |
| 13 | පී.එච්.කේ.අබේකෝන් මහතා | ප්‍රාදේශීය ලේකම් | 1990 මාර්තු | 1990 දෙසැම්බර් |
| 14 | පී.ඒ.පී.ජයවර්ධන මහතා | ප්‍රාදේශීය ලේකම් | 1991 ජනවාරි | 1992 සැප්තැම්බර් |
| 15 | ඩබ්.බී.ඒකනායක මහතා | ප්‍රාදේශීය ලේකම් | 1992 සැප්තැම්බර් | 1992 දෙසැම්බර් |
| 16 | පී.එල්.නන්දසිරි මහතා | ප්‍රාදේශීය ලේකම් | 1995 ජනවාරි | 1996 ජනවාරි |
| 17 | එච්.එම්.සෝමතිලක මහතා | ප්‍රාදේශීය ලේකම් | 1996 පෙබරවාරි | 2001 අප්‍රේල් |
| 18 | ආර්.කේ.ප්‍රේමසිරි මහතා | ප්‍රාදේශීය ලේකම් | 2001 අප්‍රේල් | 2002 නොවැම්බර් |
| 19 | කේ.ඒ.සිරිසේන මහතා | ප්‍රාදේශීය ලේකම් | 2002 දෙසැම්බර් | 2010 නොවැම්බර් |
| 20 | මාධව වර්ණකුලසූරිය මහතා | ප්‍රාදේශීය ලේකම් | 2010 නොවැම්බර් | 2012 මැයි |
| 21 | නිශාන්ත කරුණාතිලක මහතා | ප්‍රාදේශීය ලේකම් | 2012 ජූලි | 2017 අගෝස්තු |
| 22 | ආත්මා ජයරත්න මහත්මිය | ප්‍රාදේශීය ලේකම් | 2017 අගෝස්තු | 2020 ජූලි |
| 23 | සී.කේ.බී.ඉලංගසිංහ මහතා | ප්‍රාදේශීය ලේකම් |
2020 සැප්තැම්බර් |
2023 දෙසැම්බර් |
| 24 | එස්. විජයකුමාර් | ප්‍රාදේශීය ලේකම් -වැ.බ | 2023 ජනවාරි | වර්තමානය |















